ගර්භාෂයේ ඇතුලු බිත්තිය තැනී ඇති විශේෂ සෛල තට්ටුවක් ඇත.
මෙය එන්ඩොමෙට්රියම් ලෙස හැදින්වේ.
හෝමෝන වල බලපෑම මත මෙම එන්ඩොමෙට්‍රියම ක්‍රමයෙන් ඝනකම් බවින් වැඩි තත්වයකටත් එක් අවස්ථාවක එම තට්ටුව ගර්භාෂයේ ඇතුලු බිත්තියෙන් ගැලවී යාමත් සිදුවේ.
එහිදී යම් රුධිර වහනයක් සිදුවන අතර එසේ ගැලවුනු පටක යෝනි මාර්ගයෙන් ඉවත් වීම සිදුවන අතර මෙය ආර්ථවය ලෙස හැදින්වේ.
මෙම එන්ඩොමෙට්‍රියම තැනී ඇති සෛල විවිධ හේතු නිසා ගර්භාෂයෙන් පිටත විශේෂයෙන් උදර කුහරය තුල ඇති අවයව මත තැන්පත් වී තිබිය හැක.
මේවාද මාසිකව සිදුවන හෝමෝන බලපෑමට සංවේදී වන අතර ,එහි බලපෑම මත එම කොටස විශාල වී පසුව කොටසක් ගැලවී යා හැක.
එහිදී ඇතිවන රුධිර වහනය ව්‍යාකූලතා ඇති කිරීමට බෙහෙවින් හේතු වේ.
මෙවැනි තත්වයක් එන්ඩොමෙට්‍රියෝසිස් යනුවෙන් හැදින්වේ.
සාමාන්‍යයෙන් මෙම තත්වය හදුනා ගැනීම වයස අවුරුදු 25 ත් 30 ත් අතර කාලයේදී සිදුවේ.
ඊට හේතුවන්නේ මෙහිදී ඇතිවන ව්‍යාකූලතා බොහොමයක් ආර්ථවය සිදුවීම ක්‍රමවත් වූ පසු වැඩිපුර ඇතිවන බැවිනි.
මේ සදහා විශේෂිත හේතුවක් නිෂ්චිත වශයෙන් කිව නොහැක.
ගර්භාෂයේ පැලෝපීය නාලය උදරකුහරයට කෙලින්ම විවෘතවේ.
මෙම නාලය හරහා විවිධ හේතූන්මත ගර්භාෂයේ ඇතුල් බිත්තිය තැනී ඇති පටක උදර කුහරයට ගමන් කිරීම සිදුවිය හැකි බව එක් මතයකි.
පහත දක්වා ඇති තත්ව වලදී එන්ඩොමෙඨ්රියෝසිස් තත්වය වැඩිපුර ඇති වීමේ හැකියාවක් ඇති බව සොයාගෙන ඇත.
තම මවට හෝ සහෝදරියකට මෙවැනි තත්වයක් ඇතිව තිබීම
ඉතා අඩු වයසේදී වැඩිවියට පැමීනීම
මාස් ශුද්ධිය ඇතිවූ විට එය දින ගනනක් තිබීම ( සාමාන්‍යයෙන් දින 7කට වඩා)
දරුවන් නොමැතිවීම
උත්පත්තියේදී ඇතිවන ව්‍යාකූලතාවයක් ලෙස යෝනි මාර්ගය වැසී ගොස් තිබීම.( කන්‍යා පටලය මගින් )හා එමගින් මුලින්ම වන ආර්ථව සිදුවීමට ඇතිවන බාධාව.
කැක්කුම ඇතිවීම ඇති ප්‍රධානතම ලක්ෂණය වුවත් සමහර කාන්තාවන්ගේ එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය තිබුනද කැක්කුමක් ඇති නොවී තිබිය හැක.
මාස් ශුද්ධිය සිදු වීමේදී ඇතිවන දැඩි වේදනාව
මාස්ශුද්ධිය වීමට සතියකට පමණ පෙර සිට සිදුවන යටි බඩේ කොරවෙන ස්වභාවයෙන් යුත් කැක්කුම හා එය මාස් ශුද්ධිය වන අවස්ථාවේදීත් දැඩි ලෙස තිබීම.
මේ සමග ඇතිවන කොන්දේ කැක්කුම
ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම
මුත්රාකරන විට කැක්කුම මෙන්ම මලපහ කරන විටදීද කැක්කුමක් ඇතිවිය හැකි වීම
දරුවන් පිලිසිද ගැනීමට බාධා ඇතිවීම
මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මෙම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය ඇතිවී ඇති ස්ථානය අනුව විවිධාකාර විය හැක.
නිතර නිතර උදර කුහරයේ සිදුවන රුධිර වහනය නිසා ඇතිවන තත්වය හේතුකොටගෙන උදර කුහරයේ ඇති අවයව එකිනෙකට ඇලී යා හැක.( විශේෂයෙන් බඩවැල් )මේ තත්වය නිසා බඩ පුරවා දැමීමේ තත්ව වැඩිපුර දැකිය හැකිවේ.
මීට අමතරව නිතර සිදුවන රුධිරවහනය නිසා එම රුධිරය එකතුවී දුඹුරු පැහැයට හුරු ගෙඩි උදර කුහරය තුල ඇතිවිය හැක.
මේවා චොකලට් සිස්ට් (Chocolate cyst) යනුවෙන් හැදින්වේ.
එය පිලිකා තත්වයක් නොවේ. නමුත් දීර්ඝ කාලීනව පැවතීම පිලිකාවක් බවට හැරවිය හැකි බව සමහර පරීක්ෂණ මගින් පෙන්නුම් කර ඇත.
වෛද්‍යවරයා රෝග ඉතිහාසය සලකා බලා අවශ්‍ය පරීක්ෂණ යෝජනා කරනු ඇත.
ස්කෑන් පරීක්ෂන
ලැපරොස්කොපි පරීක්ෂණය (මෙහිදී උදරය තුලට කැමරාවක් දමා පරීක්ෂාකිරීමක් සිදුකරනු ලබන අතර මෙය වඩා නිෂ්චිත නිගමනයකට එලඹීමට ඇති හොදම ක්‍රමය වේ.)
මේ සදහා ප්‍රථිකාර කිරීම
රෝගියාගේ වයස
රෝගයේ ස්වභාවය හා එහිදී ඇතිවන කැක්කුමේ ස්වභාවය
අනාගතයේදී දරුවන් අවශ්‍යද නැතිද යන සාධක මත තීරණය කරනු ලබයි.
මේ සදහා ඇති ප්‍රථිකාර ලෙස
වේදනා නාශක ඖෂධ ලබා දීම
හෝමෝන මගින් ප්‍රථිකාර කිරීම (මෙමගින් හෝමෝන වලින් ඇතිවන බලපෑම අවමකර තවදුරටත් එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය වර්ධනය වීම පාලනය කරයි.)
ඉහත ක්‍රම මගින් පාලනය නොවන්නේ නම් ශල්‍යකර්මයක් සිදුකිරීමට සිදුවන අවස්ථා ඇත.
මෙහිදී උදර කුහරය විවෘත කිරීම මගින් හෝ ලැපරොස්කොපි ක්‍රමයට කැමරා යොදා ගෙන උදරයේ තැන්පත් වී ඇති එන්ඩොමෙට්‍රියල් පටක ඉවත් කිරීමත්, එකිනෙකට බඩවැල් ඇලී ඇත්නම් ඒවා ලිහිල් කිරීමත් කරනු ලැබේ.
අවසාන වශයෙන් කිසිම ප්‍රථිකාරයකින් යථා තත්වයට පත් නොවන අවස්ථා සදහා ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන අවස්ථා ඇත.
Article uploaded on 19/12/2013